හිරු මඬලේ සිසිල්ම ග්‍රහලෝකය
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති හත්වැනි ග්‍රහලෝකය වන යුරේනස්,වායු යෝධයන් අතර තුන්වැනි ග්‍රහලෝකයද වෙයි.විෂ්කම්භය අනුව ග්‍රහලෝක අතර විශාලත්වයෙන් තුන්වැනි ස්ථානය යුරේනස්ට හිමිවන අතර,ස්කන්ධය අතරින් සිවුවැනි ස්ථානය හිමිකර ගනී.
යුරේනස් ග්‍රහලෝකය මුලින්ම සොයා ගන්නා ලද්දේ විලියම් හර්ෂල් නම් තාරකා විද්‍යාඥයා විසිනි.ඒ 1781 වසරේදී ය.පැරණි ශිෂ්ටාචාරවල මේ ග්‍රහලෝකය පිළිබඳ තොරතුරු නොමැති අතර පියවි ඇසින් දැකීමට නොහැකි තරමට දුබල ආලෝකයක් විහිදුවන බැවින් ඔවුන්ට නිරීක්ෂණය නොවන්නට ඇත.විලියම් හර්ෂල් පවා මුලදී මෙය ධූමකේතුවක් ලෙස විශ්වාස කළත් වසර කීපයකට පසුව එය ග්‍රහලෝකයක් බව තහවුරු විය.නූතන ඉතිහාසය තුළ මුලින්ම සොයාගත් ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ යුරේනස් ග්‍රහලෝකයයි.
සිකුරු ග්‍රහයා මෙන් යුරේනස් ද භ්‍රමණය වන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ය.එයට තම අක්ෂය වටා වටයක් සම්පූර්ණ කිරීමට පැය 17 කුත් මිනිත්තු 14ක් ගතවේ.එසේම යුරේනස්ට හිරු වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට පෘථිවි දින 84ක් ගත වෙයි.ග්‍රහලෝකය අංශක 98ක් ආනතව පිහිටන නිසා එයට වසර 42ක දිවාකාලයකුත් වසර 42ක රාත්‍රී කාලයකුත් පවතී.යුරේනස් ග්‍රහලෝකයේ විශාල ආනතියට හේතුව ලෙස විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය යම් කාලයක පෘථිවිය තරම් විශාල ග්‍රහලෝකයක ගැටීම මෙයට හේතු වන්නට ඇති බවයි.
යුරේනස් ග්‍රහලෝකයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 900 ක් පමණ වේ.එසේම එහි ස්කන්ධය පෘථිවිය මෙන් 14.5 ගුණයකි.මේ හේතුව නිසා පිටත ග්‍රහලෝක ලෙස සැලකෙන වායු යෝධයන්ගේ සැහැල්ලුම ග්‍රහලෝකය ලෙස සැලකෙන්නේ ද යුරේනස් ග්‍රහලෝකයයි.බොහෝවිට යුරේනස් හැදින්වීමේදී අයිස් යෝධයා යන වචනය ව්‍යවහාර කෙරෙයි.අනෙක් වායු යෝධයන්ගේ මෙන් යුරේනස්ගේත් ඉහළ ස්ථරයේ හයිඩ්‍රජන් සහ හීලියම් දක්නට ලැබුණත් පාෂාණ සහ යකඩ වලින් සැදි හරය වට කරමින් පිහිටා තිබෙන ප්‍රාවරණය අයිස්වලින් නිර්මාණය වී තිබේ.ඉහළ වායුගෝලයේ ඇති ජලය,ඇමෝනියා,මීතේන් හා අයිස් ස්ඵටික හේතුවෙන් යුරේනස් ග්‍රහයාට කැපී පෙනෙන ළා නිල් පැහැයක් ලැබී තිබේ.
සෙනසුරු හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ ඝනත්වයෙන් වැඩිම ග්‍රහලෝකය වන්නේ යුරේනස් ග්‍රහලෝකයයි.යුරේනස් කරා ගමන් කළ එකම අභ්‍යවකාශ යානාව වන්නේ වොයෙජර් 2 යානය පමණි.1986 දී යානය යුරේනස් ග්‍රහලෝකයෙන් කිලෝමීටර් 80,500 ක් ඈතින් ගමන් කළේය.මෙයින් යුරේනස්ගේ ඉතා සමීප ඡායාරූප ලබා ගැනීමට හැකියාව ලැබිණි.එසේම එහි වළලු පද්ධතියත්,උප ග්‍රහයන්ගේ ඡායාරූපත් ලබා ගැනීමට හැකිවිය.යුරේනස් ග්‍රහලෝකයට වළලු 13ක් තිබෙන බව අනාවරණය කරගෙන තිබේ.ඉන් දෙකක් හැරුණුවිට අනෙක් ඒවා සියල්ල අතිශය පටු සහ කිලෝමීටර් කීපයක් පමණක් ඈතට විහිදුණු ඒවාය.මේ නිසා මේ වළලු එතරම් පැරණි නොවන ඒවා බව විශ්වාස කෙරේ.
1789 දී සොයාගැනුණු යුරේනියම් මූලද්‍රවයට නම තැබුණේද යුරේනස් ග්‍රහලෝකය නිසාය.සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සිසිල්ම ග්‍රහලෝකය වන්නේද යුරේනස් ය.එහි අවම මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 224 කි.යුරේනස්ගේ උප ග්‍රහයන් වන ඔබිරන්,ටයිටනියා සහ මිරැන්ඩා යන චන්ද්‍රයන් නම් කර ඇත්තේ ඇලෙක්සැන්ඩර් පෝප් සහ විලියම් ශේක්ස්පියර් යන දෙදෙනාගෙ නිර්මාණවල ඇතුළත් චරිත ඇසුරිනි.මේ චන්ද්‍රයන් සියල්ලම මිදුණු වස්තූන් වන අතර අඳුරු මතුපිට මත අයිස් සහ පාෂාණ මිශ්‍රව පවතී.මෙයින් මිරැන්ඩා මතුපිට අතිශය අද්භූත පෙනුමක් ගන්නා අතර එහි අයිස් ආවාට,හෙල්මළු පිහිටීම් ආදිය දක්නට ලැබේ.
තොරතුරු මූලාශ්‍රය : මිහිර පුවත්පත
සංස්කරණය : තාරක ඩී. බෝගහවත්තගේ
Comments
Post a Comment