ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

  


      ක්ෂීරපායි සත්ව විශේෂයක් වන මුවන් ලොව වඩාත් අහිංසක සතුන් කොටසක් ලෙසටද සැලකෙයි.තුන්ද්‍රා භූමි වල සිට වැසි වනාන්තර දක්වා ප්‍රදේශවල මෙම සතුන් ව්‍යාප්තව සිටියි.වනාන්තරයක තිරසාර පැවැත්මට මුවන්ගේ දායකත්වය ඉතා වැදගත්‍ ය.අද වනවිට මිනිසාගේ බොහෝ තර්ජනයන්ට මෙම මුවන් ලක්වෙති.මස්,හම්,අං සහ කස්තුරි ආදිය ලබා ගැනීමට වසරකට විශාල ප්‍රමාණයක් මුවන් දඩයම් කරනු ලබයි.කස්තුරි යනු මුවන්ගේ ඉකිලිය යට ඇති ග්‍රන්ථියකින් ස්‍රාවය වන ද්‍රව්‍යයකි.මෙම කස්තුරි මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගනී. 


• දුඹුරුවන් මුවා(Fallow Deer)
   විද්‍යාත්මක නාමය : Dama dama


    යුරෝපයේ වනාන්තර හා තණබිම් ආශ්‍රිතව ගැවසේ.තණකොළ,ගස්වල පත්‍ර,පොතු සහ අතු ආහාරයට ගනී.වලිගය හැර අඩි 5 අඟල් 3 ක් පමණ දිගකින් යුතුයි.150 kg ක් පමණ බරකින් යුක්තය.යුරෝපයේ වෙසෙන වැඩියෙන්ම අලංකාරම මුවා වෙයි.මෙම මුවෝ සිය දෙනෙකුගෙන් පමණ සමන්විත රංචු වශයෙන් වාසය කරති.
             දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී ද දැකගත හැකිය.කළු පැහැයේ සිට   දුඹුරු පැහැය දක්වා සිරුරේ වර්ණය වෙනස් වෙයි.එහි සුදු පැහැ විශාල පුල්ලි දැකගත හැකිය.එසේම විශාල අං තට්ටුවක්ද ඇත.පිරිමි සතුන්ගේ හිස මත අං තට්ටුවක් දැකගත හැකි අතර එය අතක ඇඟිලි මෙන් විහිදුණු පෙනුමක් ගනී.අද වන විට මිනිසුන්ගේ දඩයම නිසා ගහනය යම් තරමකින් අඩු වී ඇත.

• කුරංගයා(Roe Deer)
 විද්‍යාත්මක නාමය : Capreolus capreolus


          යුරෝපයේ හා බටහිර ආසියාවේ වාසය කරයි.තණකොළ හා ගස් අතු ආහාර වේ.වැඩුණු කුරංගයෙකු දිගින් අඩි 4 අඟල් 3ක් පමණ වේ(වලිගය හැර).බර 30 kg ක් පමණ වේ.මෙම මුවන්ගේ සිරුරේ වර්ණය ග්‍රීෂ්ම සෘතුවේදී රතු පැහැයට හුරු දුඹුරු පැහැයටත්,ශීත සෘතුවේදී අළු පැහැයටත් හැරේ.
                 හොම්බ වටා කළු පැහැති පටියක් වැනි ලොම් පිහිටීම මෙම සතුන්ගේ විශේෂිත ලක්ෂණයකි.පිරිමි සතුන්ට තුඩු 3ක් සහිත අඟක් පිහිටා ඇත.වැඩුණු ගැහැනු කුරංගයෙක් වසරකට පැටවෙකු හෝ දෙදෙනෙකු බිහි කරයි.






• පිනි මුවා(Reindeer)
 විද්‍යාත්මක නාමය : Rangifer tarandus


     උතුරු ඇමෙරිකාව සහ යුරේසියානු කලාපය තුළ දැකගත හැකිය.තණකොළ සහ ගස් අතු ආහාරයට ගනී.වැඩුණු පිනි මුවෙකු වලිගය හැර ශරීරයේ දිග අඩි 7 අඟල් 3ක් පමණ වන අතර බරින් 300 kg ක් පමණ වේ.විශාල රංචු වශයෙන් වාසය කරන මෙම පිනි මුවෝ උතුරු ඇමෙරිකානු කලාපය තුළදී 1000 km ක් පමණ ආවරණය වන ලෙස සංක්‍රමණයේ යෙදෙති.
      මෙම සතුන් වාසය කරන ශීත දේශගුණික කලාපයට සරිලන ලෙස සිරුරේ ලොම් සැකසී ඇත.ඒවා නිසා සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා වී පවතී.එසේම ශීත සෘතු සමයේදී ආහාර අඩුවීමත් සමඟින්ම පරිවෘත්තීය ක්‍රියා අවම කිරීමටත් ඔවුන්ට හැකිය.විශාල අං තට්ටුව නිසා කැපී පෙනෙති.එසේම නත්තල හා සම්බන්ධ පුරාවෘත්ත නිසාද මෙම පිනි මුවන්ට ජනතාව වැඩි ආදරයක් දක්වති.

• තිත් මුවා(Axis Deer)
  විද්‍යාත්මක නාමය : Axis axis


           ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී දැකගත හැකිය.තණකොළ හා ගස් අතු ආහාරයට ගනී.වැඩුණු තිත් මුවෙකු අඩි 4 අඟල් 11ක් පමණ(වලිගය හැර) දිගින් යුතුය.බරින් 79 kg ක් පමණ වේ.මෙම මුවා චිටාල් යනුවෙන්ද හැඳින්වෙයි.ශ්‍රී ලංකා තිත් මුවා ලෙසද හඳුන්වයි.
         මෙම තිත් මුවන් රංචුවක පිරිමි,ගැහැනු සතුන් මෙම පැටවුන්ද දැකගත හැකිය.පිරිමි සතුන්ගේ අං තට්ටුව වාර්ෂිකව හැලේ.රතු පැහැයට හුරු දුඹුරු පැහැ ගත් සිරුරේ සුදු පැහැ තිත් දැකගත හැකිය.බෙල්ලේ සිට යටි බඩ කොටස දක්වා ද,පාදවලද සුදු පැහැය දැකගත හැකිය.ලඳු බිම් සහ වනාන්තර ආශ්‍රිතව වාසය කරයි.






• පුඩු මුවා(Pudu)
  විද්‍යාත්මක නාමය : Pudu mephistophiles


   මුව පවුලේ සිටින කුඩාම සාමාජිකයාය.දකුණු ඇමෙරිකාවේ දැකගත හැකිය.තණකොළ,පොතු සහ අතු ආහාර වේ.අඟල් 34 ක් පමණ දිග අතර 15 kg ක් පමණ බර වේ.අද වන විට පුඩු මුවන් විශේෂ 2 ක් හඳුනාගෙන ඇත.දකුණු ඇමෙරිකාවේ උතුරු දිග වෙසෙන එක් විශේෂයක් දකුණු දිග වෙසෙන අනෙක් විශේෂයට වඩා විශාලය.



• ඉන්දියානු වැලි මුවා(Indian Muntjac Deer)
  විද්‍යාත්මක නාමය : Muntiacus muntjac


               දකුණු සහ නැගෙනහිර ආසියාවේ ඇතැම් පළාත් වලදී දැකිය හැකිය.ආහාර තණකොළ සහ ගස් අතු වෙයි.අඩි 3 අඟල් 3ක් පමණ දිගු වේ.20 kg ක් පමණ බරැතියි.ආසියාවේ වාසය කරන වැලි මුව විශේෂ 8 අතුරින් එක් විශේෂයකි.

                     සිරුර දුඹුරු පැහැයේ විවිධ අඳුරු වර්ණයන්ගෙන් යුක්තය.අස්ථි සහිත වලිගයක් පිහිටීම මොවුන්ගේ විශේෂිත ලක්ෂණයකි.එසේම කෙටි අං තට්ටුවක්ද ඇත.පිරිමි සතුන්ගේ ඉහළ ඇන්දේ ඇති රදනක් දත් දෙක දළ මෙන් වර්ධනය වෙයි.බොහෝ විට තනි තනිව වාසය කරයි.

• සුදු වලිගයක් සහිත මුවා(White-tailed Deer)
  විද්‍යාත්මක නාමය : Odocoileus virginianus


            උතුරු සහ දකුණු ඇමෙරිකාවේ වාසය කරයි.වලිගය හැර අඩි 8 ක් පමණ දිගු වන අතර බරින් 140 ක් පමණ වේ.මෙම මුවන්ගේ වලිගය ලොව වෙසෙන අනෙක් මුවන්ගේ වලිගයට වඩා ප්‍රමාණයෙන් දිගය.එහි යටි පැත්ත සහ සිරුරේ යටි පැත්ත සුදු පැහැයට හුරුය.යම් අනතුරක් දැනුන විට මෙම වලිගය උඩට උස්වසා රංචුවේ අනෙක් පිරිසට ඒ පිළිබඳව දැනුම් දෙයි.පිරිමි සතුන්ගේ අං තට්ටුවක් ඇත.


• සයිබීරියානු කස්තුරි මුවා(Siberian Musk Deer)
  විද්‍යාත්මක නාමය : Moschus moschiferus



              මධ්‍යම සහ නැගෙනහිර ආසියාවේ වාසය කරයි.තණකොළ,පලතුරු සහ පත්‍ර ආහාරයට ගනී.අඩි 3 ක් පමණ දිගු ශරීරයක් ඇත.18 kg ක් පමණ බරකින් යුක්තය.ආසියානු කලාපය පුරා ව්‍යාප්තව සිටින කස්තුරි මුවන් විශේෂ 7 ක් හඳුනාගෙන ඇත.දඩයම නිසා ඔවුන් අවදානමට ලක් වී ඇත.දුඹුරු සහ කළු පැහැයට හුරු ඝනකම් සමක් ඇත.පිරිමි සතුන්ට අං නොමැත.උඩු ඇන්දේ රදනක දත් 2 ක් පහළට දික් වී ඇත.

සංස්කරණය : තාරක ඩී. බෝගහවත්තගේ

මූලාශ්‍රය : විජය පුවත්පත(2018.09.18)


~ දැනුම් තීරුව ~

~ දැනුමට යමක් ~

චීනයේ ෂැං ෂියැං ගංඟාව(යැංගිට්ස්) ආසියාවේ දිගම ගංඟාව වන අතර ලෝකයෙන්ම තෙවැනි දිගම ගංඟාවයි.මෙහි දිග කිලෝමීටර් 6,300 ක් පමණ වන අතර මෙය නැගෙනහිර චීන මුහුදට එකතු වේ.

Comments

Popular posts from this blog

විසිතුරු මසුන්

නකල්ස් කඳුවැටිය-සුන්දර ශ්‍රී ලංකා 01