ලෝකයේ උසම දියඇලි

දියඇල්ලක් යනු,



         ජලපෝෂක ප්‍රදේශ හරහා ස්වාභාවිකව එකතු වන ජලය හෝ හිම දියවීමෙන් ඒකරාශි වන ජලය අංශක 35 කට නො අඩු ශීඝ්‍ර බෑවුම් ඔස්සේ වසරකට මාස හතරකට නො අඩු කාලයක් ස්ථාවර ජල දහරාවක් ලෙස විනාඩියට ජලය ලීටර් 100 කට නො අඩුව ඇදහැලේ නම් එය දියඇල්ලක් ලෙස සලකයි.මේ අනුව මීටර් 5  සිට මීටර් 979 දක්වා වූ ලොකු කුඩා දියඇලි දසලක්ෂ නවයක්(මිලියන් නවයක්) පමණ අප වෙසෙන පෘථිවිය මත විසිරී පැතිර ඇත.

ඒන්ජල් දියඇල්ල 


         ලෝකයේ උසම දියඇල්ල ලෙස සැලකෙන ඒන්ජල් දියඇල්ල,එකම දිය කඳක් ලෙස පහළට ඇඳහැලෙන දියඇලි අතරින්ද ලොව උසම දියඇල්ල ලෙස සලකයි.20 වැනි සියවසේ මුල් භාගයේදී ගවේෂකයෙකු වූ අර්නස්ටෝ ඩි සැන්ටාකෲස් විසින් මෙම දියඇල්ල මුල් වරට දැක තිබුණත් වර්ෂ 1930 වන තෙක්ම එය ලෝකයෙන් සැඟවී තිබුණි.1930 වසරේදී ඇමෙරිකානු ගුවන් නියමුවකු වූ ජේම්ස් ක්‍රොෆෝල්ඩ් ඒන්ජල්,වටිනා ලෝහ පස් සහිත භූමියක් සොයමින් මෙම ප්‍රදේශය නිරීක්ෂණය කරන අවස්ථාවේදී ඔහුට මෙම දියඇල්ල දැක ගැනීමට ලැබී තිබේ.
         
         එතෙක් සැඟවී පැවති ඒන්ජල් ඇල්ල පිළිබඳව ලෝකයට තොරතුරු දැන ගැනීමට ලැබුණේ මෙම සොයා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි.1933 දී නැවත තම  ගුවන් යානයෙන් එම ස්ථානයට පැමිණි ඒන්ජල්,දියඇල්ලේ මුදුනට තම යානය ගොඩබැස්වීමට සමත් විය.ඔහුට ගරු කිරීමක් වශයෙන් මෙම දියඇල්ල ඒන්ජල් යනුවෙන් හැඳින්විය.ස්වදේශිකයන් ඒන්ජල් දියඇල්ල හඳුන්වනු ලබන්නේ "යකාගේ කට" යනුවෙනි.වෙනිසියුලාවේ වනගත ප්‍රදේශයක මෙම දියඇල්ල පිහිටා තිබෙන බැවින් එයට ළඟා වීම තරමක් අපහසු වීම නිසා ඒ සඳහා ගුවන් යානයක් යොදා ගැනීමට සිදුවේ.දෙසැම්බර් සිට මාර්තු දක්වා වූ වියළි කාලයේදී මෙය හොඳින් දැකගත හැකියි.

ටුගෙලා දියඇල්ල






                    ලොව දෙවැනි උසම දියඇල්ල ලෙස සැලකෙන්නේ ටුගෙලා දියඇල්ලයි.දකුණු අප්‍රිකාවේ ක්වාසුලු නතාල් ප්‍රාන්තයේ රාජකීය නතාල් ජාතික වනෝද්‍යානයේ පිහිටි ඩ්‍රැගන්ස්බර්ග් කඳුවැටියේ(මකරාගේ කඳුවැටිය) මෙම දියඇල්ල පිහිටයි.දැඩි වර්ෂාවකින් පසු මෙම අලංකාර දියඇල්ල එයට පිවිසෙන මාර්ඟයේ සිටම ඉතා හොඳින් දැකගත හැකිය.ටුගෙලා ගංඟාවෙන් මෙම දියඇල්ල නිර්මාණය වන අතර ගංඟාවේ ආරම්භය සිදු වන්නේ දියඇල්ලට කිලෝමීටර් කිහිපයක් එපිටිනි.දියඇල්ලට ඉහළින් වූ ජලය පානීය ජලය ලෙස යොදාගැනීමට තරම් පිරිසිදු හා ආරක්ෂිත ජලය බව පැවසෙයි.



සොහොයුරියෝ තුන්දෙනා



          පීරු රාජ්‍යයේ පිහිටා තිබෙන සොහොයුරියන් තිදෙනා(Three sister) නමැති අලංකාර දියඇල්ල කොටස් කීපයක් ලෙස කඩා හැලෙයි.එහි ඉහළ කොටස මීටර් 600 බැගින් කොටස් 2කින් යුක්ත වේ.වෙන් වෙන්ව හඳුනාගත හැකි එම කොටස් දෙකත්,ඉතිරි කොටසත් නිසා එය සොහොයුරියන් තිදෙනා යනුවෙන් හඳුන්වයි.ඉහළින් පිහිටි කොටස් 2 ගුවනේ සිට බලන විට තුන්වැනි කොටස ආරම්භ වන විශාල බේසමක් වැනි තටාකයකට ඇද හැලෙන අයුරු දැකගත හැකියි.මෙම දියඇලි සම්පූර්ණයෙන්ම වනාන්තරයෙන් වටවී තිබේ.එම දියඇලිවල අඩි 100ක් පමණ උසට යන තෙක් ගස් වැවී තිබේ.



ඔලොවුපීනා ඇල්ල 


          මෙය හවායි හි තිබෙන විශාලතම දියඇල්ල නොවිය හැකි නමුත්,එය උතුරු ඇමෙරිකාවේ ප්‍රධානතම දියඇලි 20 අතරට ඇතුළත් කර තිබේ.එහි තේරුම්ගත නොහැකි උස එයට හේතුවයි.මෙම දියඇල්ල සැළකෙන්නේ ලෝකයේ උසම දියඇලි අතුරින් හතරවැනියා ලෙසයි.මෙම දියඇල්ල ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් වූවත් එය නැරඹීමට නම් ඇමෙරිකාවට මඳක් දුරින් පිහිටි හවායි දූපත්වලට යා යුතු වේ.

        බොහෝ දෙනෙක් කිසිදිනක ඔලොවුපීනා දියඇලි පිළිබඳව අසා හෝ දැක නොමැත.බොහෝවිට මේ දියඇලි පිළිබඳව තොරතුරු ලබාගෙන ඇත්තේත් ගුවන් ඡායාරූප මඟින් පමණයි.දෙපසින්ම විශාල කඳුවලින් වටවී ඇති මෙම දියඇලි වලින් එතරම් අධික ජල ප්‍රමාණයක් ගලා නොයයි.ඒ නිසා මහද්වීපයේ ප්‍රධානම දියඇලි ලැයිස්තුවේ ඇති අනෙකුත් දියඇලි සමඟ සසඳන විට මෙම දියඇල්ලෙන් නිකුත්කරන ජල පරිමාව අතිශය අඩු ප්‍රමාණයක් වේ.එහෙත් මෙම ජලය හිඟකම එහි අසාමාන්‍ය උස නිසා එතරම් අවධානයට ලක් නොවේ.අඩි 2953 ක් උස එය මහද්වීපයේ උසම දියඇල්ල ලෙස සැලකෙන අතර,අඩි 2756 ක් උසැති පු'උකාඕකු(Pu'uka'oku) දියඇල්ලත්,අඩි 2600 ක් උසැති වායිහිලාවු(Waihilau) දියඇල්ලත්‍ යන දෙකම පිහිටා ඇත්තේ හවායි දූපත් වලයි.

යම්බිල්ලා දියඇල්ල 


                                                                                    
















          මීටර් 896 ක් උසැති යම්බිල්ලා දියඇල්ල තට්ටු
කීපයකින් යුත් සිහින් ජල කඳක් සේ පහළට ඇද හැලේ.එය සුප්‍රකට ගොක්ටා දියඇලි වලටත් වඩා උස් වූවත් එයින් ඇද හැලෙන ජල පරිමාව ඉතාම අඩු අගයකි.කුයිස්පෙස් සිට අධික මඩ සහිත කඳු මාර්ඟයේ පැය 1.5 ක පමණ ගමනකින් දියඇල්ලට ළඟා වීමේ හැකියාව තිබේ.





විනුෆොසෙන් දියඇල්ල 



            නිකුත් කෙරෙන ජල ප්‍රමාණය අඩු ප්‍රමාණයක් වුවත් උසින් වැඩි සහ අලංකාර පෙනුමින් යුත් දියඇල්ලක් ලෙස මෙය හැඳින්විය හැකියි.වසර පුරාම මෙම දියඇල්ලේ ජලය පවතින අතර සමහර කාලවලදී එයින් අධික ජල ප්‍රමාණයක්ද නිකුත් කෙරේ.විනුෆොසෙන් දියඇල්ල නිර්මාණය වනුයේ විනු ගංඟාවෙනි.විනුෆොසෙන් දියඇල්ල නෝර්වේ හි උසම දියඇල්ල ලෙස සැලකෙන අතර ලොව උසම දියඇලි අතරින් හයවන ස්ථානය වෙයි.

බලායිෆොසෙන් දියඇල්ල 



            යුරෝපයේ උස් දියඇලි අතරින් දෙවැනි ස්ථානයත්,ලෝකයේ උසම දියඇලි අතුරින් 7 වැනි ස්ථානයත් හිමි කරගන්නේ බලායිෆොසෙන් දියඇල්ලයි.නෝර්වේ හි හොඩාලන්ඩ් ප්‍රාන්තයේ මෙම දියඇල්ල පිහිටා තිබේ.අඩි 3000 ක් පමණ උස් වූ පර්වතයකින් ඇද හැලෙන දිය පහරකින් මෙම දියඇල්ල නිර්මාණය වේ.කුඩා විල් සහ ජලාශ කිහිපයකින් මෙම දියඇල්ලට නිරන්තරව ජලය සැපයේ.එහෙත් ශීත කාලයට ඇතිවන හිම වලින් මෙම දියඇල්ලේ ජලය වැඩි ප්‍රමාණයක් ලැබෙන බව පැවසේ.Fjord වලට විරුද්ධ පැත්තේ ඇති මාර්ඟයේ සිට මෙම දියඇල්ල ඉතා හොඳින් දැකගත හැකියි.


පු'උකා'ඕකු දියඇල්ල 


                       මොලොකායි හි උතුරු වෙරළ තීරය ලොව උසම මුහුදු පර්වත සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.මෙම පර්වතය මතින් ඇදහැලෙන ඕනෑම දිය පහරක් කෙළවර වන්නේ අඩි දහස් ගණනක් පහළින් පිහිටි මුහුදෙනි.ලෝකයේ උසම මුහුදු පර්වත බොහෝමයක් මොලොකායි දූපත්වල උතුරු මුහුදු තීරයේ දක්නට ලැබෙන අතර ඉන් උසම ඒවා පිලිකුණු සහ වායිලාවු නිම්න අතර කිලෝමීටර් 4.2 ක් තරම් දුරට පුළුල්ව විහිදී තිබේ.ඒවායේ උස මීටර් 1,010 ඉක්මවයි.
             
            මෙම පර්වත දාරයන් මතින් කුඩා දිය දහරාවන් බොහෝ ගණනක් ඇදහැලේ.මේවා කිලෝමීටර් 1 ත් 3 ත් අතර වූ කුඩා ප්‍රමාණයේ ඒවායි.එමෙන්ම වියළි කාලයේදී ඒවා කුඩා දියපහරවල් ලෙස පමණක් දක්නට ලැබේ.එහෙත් නොවැම්බර්- මාර්තු අතර ඇතිවන වර්ෂා කාලයේදී ජල මාර්ඟවලට අධික ලෙස ජලය එක් රැස් වීම නිසා එම පර්වත මතින් සුදු පැහැති පටි මෙන් කුඩා දියඇලි නිර්මාණය වේ.
පු'උකා'ඕකු දියඇලිවල උස භූ විද්‍යා සමීක්ෂණ වලින් ගණනය කර ඇති ආකාරයට මීටර් 840 ක් පමණ වේ.මේවායින් වැටෙන ජලපහර නිදහසේ පහළට නොවැටෙන අතර බොහෝ තැන්වල සිරස්ව  විහිදෙන බැසෝල්‍ට් පාෂාණ ඔස්සේ පහළට ගලා එයි.


ජේම්ස් බෲස් දියඇල්ල



                    වසරේ එක කාලයක පමණක් ක්‍රියාකාරීව පවතින මෙම දියඇල්ල ලොව උසම දියඇලි අතර  9 වැනි ස්ථානය හිමිකර ගනී.කඳු මුදුනේ රැස්වන කුඩා හිම කැටිති දිය වීමෙන් මෙම දියඇල්ලට ජලය ලැබේ.මෙහි අයිස් කැබලි මඟින් කුඩා දියපහර 2 ක් නිර්මාණය කරයි.මෙම දියපහර 2 එකිනෙකට සමාන්තරව කඳු මුදුනෙන් පහළට ඇද හැලෙයි.එක් ජල මාර්ඟයක් සාමාන්‍යයෙන්  ජූලි මාසයේදී වියළී යයි.එම දියපහරවල විශාල ජල පරිමාවක් දක්නට නොලැබෙයි.වර්ෂාව අධික ශීත සෘතුවේත් වසන්තයේ හිම දියවී යන විටත් දියඇල්ලේ වැඩි ජල ප්‍රමාණයක් දක්නට ලැබේ.එහෙත් වසර පුරාම එය කොටස් ලෙස ඇදහැලෙන ආකාරය දැකගත හැකියි.නිල වශයෙන් මෙම දියඇල්ලට නමක් තබා නොමැත.එබැවින් මිනුම්දෝරුවෙකු වූ රිචර්ඩ් වැන් ලියර්සම් විසින් ඔහුගේ මුත්තණුවන් සිහිකිරීම පිණිස එය ජේම්ස් බෲස් දියඇල්ල යනුවෙන් හඳුන්වා තිබේ.

බ්‍රවුනි දියඇල්ල



                   මෙය නවසීලන්තයේ ඇති උසම දියඇල්ල ලෙස හඳුන්වයි.දළ බෑවුමකින් වක්‍ර පථයක් ඔස්සේ පහළට ඇද හැලෙන මෙම දිය ඇල්ලෙන් විශාල ශබ්දයක් ද නිකුත් කෙරේ.කඳු මුදුනේ සිට අඩි 600-700 කට ආසන්න දුරක් තනි ජල කඳක් ලෙස ඇද හැලේ.මෙම දියඇල්ලේ උස බොහෝ අවස්ථාවල අඩි 2031 ක් ලෙස දක්වා ඇතත්,භූ විද්‍යා මැනීම් අනුව එහි උස තවමත් ගණනය කර නොමැත.

සංස්කරණය : තාරක ඩී. බෝගහවත්තගේ 

මූලාශ්‍රය : මිහිර පුවත්පත(2011.06.20)

~ දැනුමට යමක් ~

මල්වතු ඔය ශ්‍රී ලංකාවේ දිගින් දෙවන ගංඟාවයි.එහි දිග 148 km කි.වන්කලායි ප්‍රදේශයෙන් සාගරයට එකතු වේ.

~ දැනුමට පැනයක් ~

කන්ද උඩරට රාජධානිය සෙංකඩගලට ගෙන ගිය රජු කවුද ?




Comments

Popular posts from this blog

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

විසිතුරු මසුන්

නකල්ස් කඳුවැටිය-සුන්දර ශ්‍රී ලංකා 01