මිසර පාරාවෝ
ලෝකයේ ප්‍රධාන ශිෂ්ටාචාර අතරින් නයිල් නිම්නය ආශ්‍රිතව බිහි වූ පුරාණ මිසරය(Mizr) කැපී පෙනෙයි.නූතනයේ ඊජිප්තුව කියා ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ පුරාණ මිසරයයි.අදටත් මිසර වැසියන්,එනම් ඊජිප්තු වැසියන් ඔවුන්ගේ රට නිල වශයෙන් හඳුන්වන්නේ මිසරය යනුවෙනි.පුරාණයේදීත් එරටට භාවිතා වූ නම මිසරයයි.නයිල් නදිය නොතිබෙන්න පුරාණ මිසරය නිකම්ම කාන්තාර ප්‍රදේශයක් පමණක්ම බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.එසේ නම් ගොවිතැන් කටයුතු කිරීමට හෝ ජීවත්වීමට හෝ මෙම ප්‍රදේශය කිසිසේත්ම සුදුසු වන්නේ නැත.පුරාණ මිසර වැසියන් බීමට මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහාත් ජලය ලබා ගත්තේ ලොව දිගම ගංගාව ලෙස සැළකෙන නයිල් නදියෙනි.වාර්ෂිකව නයිල් නදිය පිටාර ගලා යද්දී ඉවුරුවල පස තව තවත් සශ්‍රීකත්වයෙන් පෝෂණය වීම ඇරඹිණි.කෘෂිකාර්මික කටයුතු ඇරඹූ පුරාණ මිසර ගොවීන් ඉරිඟු,බාර්ලි ආදිය වගා කලේ පාන් සහ බීර නිෂ්පාදනයට ය.ප්ලැක්ස් හණ,ලිනන්,එළවළු හා පලතුරු වගා කිරීමත් ඔවුන් අතින් සිදුවිය.ඔවුහූ ගවයින්,බැටළුවන් ඇති කළහ."ඉතිහාසයේ පියා" ලෙස විරුදාවලි ලබා සිටින සුප්‍රසිද්ධ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් පුරාණ මිසරය හඳුන්වා දී තිබෙන්නේ 'නයිල් නදියෙන් බිහි වූ අරුමය' යනුවෙනි.
නයිල් නිම්නය
නයිල් නදී නිම්නයේ ඇති නටබුන්වලින් ක්‍රි.පූ. 10 වන සහස්‍රයේ ඒ ප්‍රදේශයේ විසූ ජනතාව දඩයක්කාරයන් ලෙස හා මාළු අල්ලාගෙන ජීවත් වූවන් ලෙස ගෙවූ ජීවිතය අවසන් කොට ධාන්‍ය වවා ජීවත් වූවන් බවට පත් වූ ආකාරය හෙළිදරව් කරන සාධක මතු වී තිබේ.ක්‍රි.පූ. 8000 වන විට කලාපයේ දේශගුණය වෙනස් වීම නිසා හෝ සතුන් විසින් තණකොළ පමණ ඉක්මවා උලා කෑම හේතුවෙන් සහරා කාන්තාරය බිහිවිය.ප්‍රදේශයේ විසූ මුල් ගෝත්‍රවල ජනයා නයිල් නදී නිම්නය අවට පදිංචියට පැමිණියහ.නව ජනාවාස ඇතිවීමත් කෘෂි ආර්ථිකයට මිනිසා යොමු වීමත් සිදු උනේ එයින් පසුවය.ක්‍රි.පූ. 6000 පමණ වන විට නයිල් නිම්නය ආශ්‍රිතව නව ගල් යුගයට අයත් සංස්කෘතියක් බිහිවිය.මේ කාලයේදී වෙන වෙනම පූර්ව රාජ්‍ය සංස්කෘතීන් කීපයක් ම ඉහළ හා පහළ මිසරයේ ඇතිවිය.මිසරයේ ඉපැරැණි රූපාක්ෂර වලට සාක්ෂි මේ කාලයට අයත් යැයි සැලකෙන මැටි බඳුන් වලින් තිබී පුරා විද්‍යාඥයන්ට හමුවී තිබේ.එම මැටි බඳුන් ක්‍රි.පූ. 3200 තරම් පැරණි යැයි කාල නිර්ණය මඟින් තීරණය කර ඇත.
පළමු රජ පෙළපත
පුරාණ මිසරයේ ප්‍රථම ජනාවාස බිහිවුණේ මීට වසර 7,000 ක් තරම් ඈත අතීතයේදී ය.කල් ගතවෙද්දී මෙම කුඩා ජනාවාස එක්වී රාජධානි 2 ක් නිර්මාණය විය.නයිල් ඩෙල්ටාවේ පහළින් එක් රාජ්‍යයක් බිහිවූ අතර මිසරයේ ඉහළ කොටසේ නයිල් නිම්නයේ අනෙක් රාජධානිය බිහිවිය.ක්‍රි.පූ. 3100 දී ඉහළ මිසරයේ පාලකයා වූයේ මෙනස් රජුය.ක්‍රි.පූ. 3150 දී මෙම රජතුමා රාජධානි දෙකම එක් කර ඔහුගේ අගනුවර මෙම්පිස්වල නිර්මාණය කළේය.
මිසරයේ මිසර රජවරුන්ගේ පළමු රජ පෙළපත ආරම්භ උනේ ඉන් පසුව ය.මිසර ජන සමාජයේ බලවත් ම හා වැදගත්ම තැනැත්තා වූයේ රජතුමා ය.ජනයා ඔහුට වන්දනාමාන කළේ හෝරස් නම් දෙවියන්ගේ මනුෂ්‍ය ආත්මය බවට විශ්වාස කරමිනි.ක්‍රි.පූ. 1554 වසරේ සිට රජතුමා ගෞරව නාමයකින් හැඳින්විණි.ඒ නාමය 'පර් ආ' යන්නය.ඉංග්‍රීසි බසින් 'පේරෝ'(Pharoas) යනුවෙන්ද සිංහල බසින් 'පාරාවෝ' යනුවෙන්ද හැඳින්වෙන්නේ මෙම ගෞරව නාමයයි.'පර් ආ' යන්නෙහි තේරුම 'ශ්‍රේෂ්ඨයාගේ මන්දිරය' යන්නය.රාජකීය පෙළපත පිරිසිදුව රැකගැනීමට රජ පවුලේ අය අතර විවාහ සිද්ධ විය.ඒ නිසාම මෙම රජ පරම්පරා පසුව අභාවයට ගියේය.
පාරාවෝ
මේ එක්සත් රාජධානියෙන් පසුව එළඹුණු සහස්‍රක තුන පාලනය කළ රාජ පරම්පරා ගණනාවක් පැවැතුණි.ඊජිප්තු වැසියන් එක්සත් රාජධානිය එකල හැඳින්වූයේ 'දෙබිම්' රාජ්‍ය ලෙසය.පසුව එය 'කළු බිම' ලෙසත් හැඳින්විණි.එසේ කීවේ නයිල් නදිය පිටාර ගැලීම නිසා එහි ඇති වූ සරුසාර කළු පස නිසාය.ඊජිප්තු සංස්කෘතිය,ආගම,කලා,භාෂාව ආදියෙන් වෙනම අනන්‍යතාවක් ඇතිකර ගනිමින් වර්ධනය වූයේ මේ කාලයේදීය.මේ කාලය පැරණි රාජධානිය (ක්‍රි.පූ.2700-2200),මධ්‍ය රාජධානිය(ක්‍රි.පූ.2040 පමණ) හා නව රාජධානිය(ක්‍රි.පූ.1550-1070) යනුවෙන් යුග 3 කට බෙදා දැක්වෙයි.
පැරණි රාජධානියට මඟ පෑදුණේ මේ කාලයේ ඊජිප්තුව පාලනය කළ රජ පෙළපත් දෙකකිනි.මුල්ම පිරමීඩ ඇති වූයේත් මේ කාලයේදීය.දෙවියන් ඇදහීමත්,රජු දෙවියන්ගේ නියෝජිතයෙකු ලෙස සැළකීමත්,මරණින් මතු ජීවිතයක් ගැනත් ඊජිප්තු වැසියන් විශ්වාස කරන්නට පටන් ගත්තේ මේ කාලයේදීය.රාජ්‍ය පාලන කටයුතු සිදුකිරීම හා බදු අයකර ගැනීම් සඳහා පාරා රජුට 'වයිසර්ස්' නමින් හැඳින්වූ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ සහාය ලැබිණ.රට දිස්ත්‍රික්ක 42 කට බෙදා වෙන් කෙරිණි.මෙම දිස්ත්‍රික්ක හැඳින්වූයේ 'නෝම්ස්' යනුවෙනි.සෑම දිස්ත්‍රික්කයක් ම පාලනය කරනු ලැබුවේ පාරාවන් විසින් පත් කළ 'නොමාර්ක්ස්' නමින් හඳුන්වණු ලැබූ පාලකයන් විසිනි.ඔවුහූ මීට අමතරව රාජ්‍ය භාණ්ඩාගාරය පාලනයට,රාජකීය කටයුතු බලා කියා ගැනීමට,එනම් පිරමීඩ හා ස්මාරක ඉදිකිරීමේ වැඩකටයුතු සඳහාත් නිලධාරීන් පත් කළහ.කෘෂිකාර්මික කටයුතු,සත්ත්ව පාලන කටයුතු පමණක් නොව විදෙස් සම්බන්ධතා පවා පාරාවන්ගේ පාලනය යටතේ පැවැතිණි.
මරණින් මතු
පුරාණ මිසර වැසියෝ මරණින් මතු ආත්මයක් ගැන තදින් ම විශ්වාස කළහ.කිසියම් පුද්ගලයෙකු මියගිය පසු ඒ පුද්ගලයාගේ ආත්මය ගමන් කළා යැයි විශ්වාස කළේ 'ඩුඅට්' නම් නිරයටය.මීලඟ ආත්මයේ සාර්ථක ජීවිතයක් සහිත හොඳ උප්පත්තියක් ලැබීමට නම් බාධක කම්කටුලු මාලාවක් ජය ගන්නට ආත්මයට සිදුවෙයි.මෙම බාධක අතරින් අසීරුතම බාධකයට මුහුණ පාන්න සිදුවෙන්නේ මරණයේ දෙවියන් වන ඔසයිරස්ගේ ශාලාවේදී ය.මෙහිදී එම පුද්ගලයාගේ හදවතේ බර පිහාටුවක් හා සසඳා බැලෙන බව මිථ්‍යා කතාවල සඳහන් වේ.පව්කාර ජීවිතයක් ගත කළ අයෙකුගේ හදවත බරින් වැඩිය.එවැනි අය නිරයේ සිටින මෘගයකුගේ ආහාර බවට පත්වෙයි.යහපත් තැනෙත්තෙකු නම් මීලඟ ලොවට යාමට අවස්ථාව ලැබේ.මේ ලෝකය හැඳින්වෙන්නේ 'බටහිර රාජධානිය' ලෙසිනි.
පුද්ගලයෙකුගේ ආත්මය අනෙක් ලොවට යද්දී සිරුරත් ඒ ආකාරයෙන් නොනැසී තබා ගත යුතු යැයි මිසර වැසියෝ විශ්වාස කළහ.මමීකරණය කරමින් සිරුරු කල්තබා ගැනීමේ ක්‍රමය මිසර වැසියන් සොයා ගත්තේ ඒ හේතුවෙනි.මෙහිදී මුලින් සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන් ඉවත් කර සිරුර හොඳින් වේලා ගැනේ.ඉන්පසු එය තෙල්වල ගිල්වා ලිනන් රෙදි පටි වලින් හිසේ සිට දෙපතුල් දක්වා හොඳින් වෙළනු ලබයි.මේ ක්‍රමයට මිනිස් සිරුරු පමණක් නොව සත්ත්ව මළ සිරුරු පවා මමීකරණයට ලක් කර තිබේ.
ශාපයක විශ්වාසය
නව මිසර රාජධානියේ රජවරුන්(ක්‍රි.පූ.1552-1085) පිරමීඩ තුළ මිහිදන් කර නැත.ඔවුන් මිහිදන් කර ඇත්තේ කඳුකරයේ ගැඹුරට හෑරූ සොහොන් ලෙන් තුළය.මේ සොහොන් ලෙන් තීබ්ස නිම්නය අසල කඳුකරයේ හාරා ඉදිකරන ලද ඒවාය.මෙලෙස සිරුරු ලෙන්වල මිහිදන් කළේ සොරුන්ගෙන් එල්ල වන තර්ජන නිසාය.පිරමීඩ තුළ මමීකරණය කළ සිරුරු සමඟ මිහිදන් කළ මහා වස්තු සම්භාරයන් සොරකම් කිරීමේ අරමුණින් පිරමීඩ හාරා විනාශ කළ අවස්ථා තිබේ.මෙම ලෙන් සොහොන් පවා පසුකාලීනව හාරා විනාශ කර ඇත.1992 වසරේදී හොඳින් සුරැකිව තිබූ එක් සොහොන් ගැබක් සොයා ගැනීමට හැකි විය.මෙය මිසරයේ ළාබාලතම රජු ලෙස සැලකෙන ටුටන්කාමන්ගේ සොහොන ය.ටුටන්කාමන්ගේ සිරුර සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හවාඩ් කාටර් සහ ඔහුගේ පුරාවිද්‍යාඥ කණ්ඩායම විසිනි.ටුටන්කාමන්ගේ සිරුර සහිත සොහොන් ගැබ වසර 3,300ක් පුරා මුද්‍රා තබා තිබුණු බව පැවසේ.සොහොන් ගැබට ඇතුළු වූ කාටර්ට හමුවුණේ ටුටන්කාමන්ගේ මමීකෘත කළ සිරුර සහිත මිනීපෙට්ටිය පමණක් නොවේ.මිල කළ නොහැකි වස්තු සම්භාරයන්ගෙන් ඒ සොහොන් ගැබ පිරී තිබුණි.
ටුටන්කාමන් යනු මිසර පාරාවන්ගෙන් කෙනෙකි.ඒ පාරාවන් මියගොස් ඇත්තේ ළාබාල අවධියේදීම ය.ඒ සොහොන මුලින්ම ගවේෂණය කිරීමේ ගෞරවය හිමි වන්නේ හවාඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයාට වුවත් ඊට මුදල් යෙදවූයේ බ්‍රිතාන්‍යයේ කානෝවන් සාමිවරයා ය.සොහොන විවෘත කර නොබෝ දිනකින්ම කානෝවන් සාමිවරයා හදිසියේම මිය ගියේය.ඔහුට එම ඉරණම අත්වූයේ ටුටන්කාමන්ගේ ශාපය වැදීම නිසා කීවද එහි ඇත්තක් නැත.එසේම මෙම ශාපය තවත් අයට බලපෑවා යැයි කියතත් එහි ද ඇත්තක් නැත.මරණින් පසු,මීළඟ ආත්මයේදී ආත්මය,සිරුර හා එක්වන බව මිසර වැසියෝ විශ්වාස කළහ.ඒ නිසා ඔවුහූ පාරාවන්ගේ සිරුරු මමීකරණයට ලක් කළහ.එසේම සිරුරු වල වැදගත් ඉන්ද්‍රීයන් විජලනය වීම වේගවත් කිරීමට නැට්‍රොන් ලුණුවල බහාලමින් සුරක්ෂිතව කුඩා බඳුන් වල තැන්පත් කළහ.මළ සිරුරු ලිනන් රෙදි පටිවලින් දෙපතුළේ සිට හිස දක්වාම හොඳින් වෙළූහ.මිසර රජවරුන් හා සමීපව වාසය කළ සතුන් පවා මෙලෙස මමීකරණයට ලක් කළහ.මමීවල මැජික් බලයක් හා ඖෂධීය බලයක් ඇතැයි යන්න එකල අරාබි විද්වතුන්ගේ විශ්වාසය විය.
නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කිරීමට පාරා රජ පවුල්වල සාමාජිකයන්ගේ සිරුරු මමීකරණයට ලක්කර ඒවා තැන්පත් කළ පිරමීඩ වලට ශාපයක් ආරෝපණය කළ බව ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.මෙම පිරමීඩ වල තිබුණේ මමීකරණය කළ මළ සිරුරු විතරක් නොවේ.පාරා රජ පවුල්වල අයට අයිති රත්තරන්,මුතු මැණික් වැනි වස්තු සම්භාරයන් ද ගොඩගසා තිබුණේ ය.ඒ නිසා ශාපයක් ඇති බව ප්‍රසිද්ධ කිරීම නිසා එම පිරමීඩ වලට කිසිවෙකු පය නොගසාවී යැයි පුරාණ මිසර වැසියන් සිතන්නට ඇත.මමීවල ශාප ගැන ප්‍රසිද්ධියට පත් වුණේ අවාසනාවන්ත අනතුරු වලට ලක්වූ නිදන් හොරුන්ගේ තොරතුරුත්,ඒවා අනුව තැනූ අපූරු Hollywood චිත්‍රපටත් නිසාය.
සංස්කරණය : තාරක ඩී.බෝගහවත්තගේ
මූලාශ්‍රය : විජය පුවත්පත(2011.10.11)
දැනුම් තීරුව
දැනුම් තීරුව
~දැනුමට යමක්~
ආසියා මහද්වීපයේ දිගම ගංඟාව 'අමු පැරයා' වේ.එහි දිග 2,620 km වේ.උස්බෙකිස්තානය,තුර්මෙකිස්ථානය,ටජිකිස්ථානය,ඇෆ්ගනිස්තානය හරහා අරාල් මුහුදට ගලා යයි.
~දැනුමට පැනයක්~
රුසියාවේ දිගම ගංඟාව කුමක් ද?
Comments
Post a Comment