රතු ඉන්දියානුවෝ

    


            මොවුන් තම මුල්ම ජනාවාස පිහිටුවා ගත්තේ ඇලස්කාවේ සිට රොකී කඳුවැටියට බටහිර වෙරළ තීරයේයි.එතැන් සිට මෙක්සිකෝව,නව මෙක්සිකෝව,මිසිසිපි ගංගාධරය දක්වා ද එතැන් සිට උතුරු දෙසට ටෙනිසි,වර්ජිනියා,ඉලිනොයිස්,ඔහියෝ,පෙන්සිල්වේනියා දක්වා ද බටහිර වෙරළේ කැරොලිනා,ජෝර්ජියා දක්වාද රට මධ්‍යයේ කොලරාඩෝ,කැන්සාස්,මිසුරි වැනි ප්‍රදේශ දක්වා ද මෙම ගෝත්‍රිකයන් කාලයත් සමඟ ජනාවාස  විය.ක්‍රි.ව.1500 දී පමණ වන විට මෙම ඉන්දියානු වර්ගයා හඳුන්වනු ලැබුවේ රතු ඉන්දියානුවන් යන නමිනි.
   

ඉතිහාසය

         රතු ඉන්දියානුවන් පළමුවරට ඇමෙරිකාවට පැමිණෙන්නට ඇත්තේ ආසියාවේ සිට සයිබීරියාව සහ ඇලස්කාව අතර ඇති බීරිං සමුද්‍ර සන්ධිය තරණය කරමින් බව දැනට පිළිගනී.89.6 km ක් පමණ වූ මෙම සමුද්‍ර සන්ධියෙන් ඇමෙරිකාවත් ආසියාවත් එකිනෙකට වෙන් කරනු ලබයි.මේ අතරමඟ දූපත් තුනක් පිහිටා ඇති බවත් එදවස මෙම දූපත් විශාලව ද ,සමුද්‍ර සන්ධිය පටුව ද  තිබෙන්නට ඇති බවත් විශ්වාස කරනු ලබයි.මේ හේතූන් නිසා මොවුන්ට සංක්‍රමණය කිරීම පහසු වෙන්නට ඇති බව විද්‍යාඥායින්ගේ  මතයයි.එනම් උතුරු ඇමෙරිකානුවන්ගේ සම්භවය ආසියාවෙන් සිදු වී ඇති බව මානව විද්‍යාඥයින් විශ්වාස කරයි.

භාෂාව

       දියුණු සන්නිවේදන ක්‍රම මොවුන් සතුව පැවතුන අතර චිරෝකීස් ගෝත්‍රිකයන් භාෂාවක් හා හෝඩියක් නිර්මාණය කරගෙන තිබුණි.

ජනගහනය

ඇමරිකාවේ මිලියන 2ක් පමණද කැනඩාවේ මිලියනයක් පමණ ද වාසය කරනු ලබයි.

ආගම


        හිරුට,වර්ෂාවට හා වළාකුළු වලට දේවත්වය ආරෝපණය කරගත් කොට්ඨාසයකි.ඒ සඳහා මොවුන් පූජනීය ස්ථාන ද ගොඩනඟා ගෙන තිබුණි.


සංස්කෘතිය

          ප්‍රාදේශීය වශයෙන් ද කලාපීය වශයෙන් ද විවිධ සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ද පෝෂණය වූ විවිධ ඉන්දියානු ගෝත්‍ර රැසක් පවතී.මෙක්සිකෝ කලාපයේ රතු ඉන්දියානුවා පෙන්සිල්වේනියාව සහ උතුරු කැරොලිනා ප්‍රදේශයේ ඉන්දියානුවාට වඩා වෙනස් වෙයි.පෙන්සිල්වේනියාවේ සිටින ඉන්දියානුවන් හිම සපත්තු පළඳින අතර මෙක්සිකෝ ඉන්දියානුවන් හිම සපත්තු නොපළඳියි.බටහිර වෙරළේ ඉන්දියානුවන්ගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ මසුන් මැරීමයි.මධ්‍යම තැනිතලා ප්‍රදේශයේ වෙසෙන ඉන්දියානුවා දඩයම් කරමින් තම ජීවිකාව පවත්වාගෙන යයි.මෙක්සිකෝ හා මිසිසිපි ඉන්දියානුවන් කෘෂි වගාව ප්‍රධාන ජීවනෝපාය ලෙස සිදු කරයි.           
        වර්තමානයේ උතුරු කැලිෆෝනියාවේ සිට ඇලස්කාව දක්වා වූ වෙරළ කලාපය වයඹ දිග ඉන්දියානු කලාපයයි.නූට්කස්,ක්වාකියොඩොලස්,හයිඩාස් ආදී ඉන්දියානු ගෝත්‍ර වර්ග එම කලාපයේ ජීවත් වෙයි.සැමන් මාළුන් දඩයමට මොවුන් සුවිශේෂී දක්ෂතාවක් දක්වන අතර බර්ච් ගස්වල පොත්තෙන් ඔරු පාරු තනා ගැනීමට ද,වන දඩයමට ද දක්ෂකම් පෙන්වයි.මොවුන් බලවත් සටන් කාමීන් වන බව ඉතිහාසඥයන් පවසයි.

            වයඹදිග කලාපයේ මෙන්ම ඊසානදිග විසූ ඉන්දියානුවන් ද ගොවිතැන,දඩයම සහ මසුන් බෑම තම ජීවනෝපාය කරගෙන පවතී.මෙම ගෝත්‍රිකයන් වෙන් වෙන්ව කුඩා ගම්මාන වල ජීවත් වෙයි.අනෙකුත් ප්‍රදේශවල ජීවත් වූ ගෝත්‍රිකයන් ට වඩා මොවුන් සංවිධානය වූ සමාජයකට අයත් වන අතර එම සමාජ සංවිධානය හඳුන්වනු ලබන්නේ ඉරෝකියුස් නමිනි.මෙම ප්‍රදේශවල ජීවත් වූ ප්‍රධාන ගෝත්‍රික කණ්ඩායම් 5 ක් වන මොහොව්ක්,සොනිකා,ඔනිඩා,ධනන්ඩාග සහ කයුගා යන ගෝත්‍රද ඉරෝකියුස් සමාජ සංවිධානයට එකතු විය.පසුව උතුරු කැරොලිනාවේ විසූ ටස්කරෝරා ගෝත්‍රිකයන් ද මෙම සමාජයට සම්බන්ධ විය.මුල් කාලයේ සිටි මුළු ඉරෝකියුස්වරු ප්‍රමාණය 16,000 ක් පමණ විය.ජෝර්ජියා,ඇලබාමා වැනි වයඹ දිග කලාපවල සිටි ක්‍රික් ඉන්දියානුවන් ද මෙම ඊසානදිග ඉරෝකියුස්වරුන් සමඟ සහයෝගයෙන් ජීවත් විය.මොවුන්ගේ සංස්කෘතිය තුළින්  මායා ශිෂ්ටාචාරයේ මූලික ලක්ෂණ දැකගැනීමට හැකිවේ.

        නිරිතදිග ඇමෙරිකානු ඉන්දියානුවන්ගේ වාසභූමිය වූයේ  ඇරිසෝනා හා නව මෙක්සිකෝව වැනි ප්‍රදේශයි.ඇරිසෝනා ගෝත්‍රිකයන් හෝපි නමින් ද නව මෙක්සිකානු ගෝත්‍රිකයන් සුනි යන නමින් ද හැඳින්විය.මෙම ගෝත්‍රික ඉන්දියානුවන් පොදුවේ හැඳින්වූයේ අන්සාසිවරු නොහොත් පුවෙබ්ලෝවරු යන නමිනි.නවෝජා යනුවෙන් තවත් ගෝත්‍රික ඉන්දියානුවන් පිරිසක් ද මේ ප්‍රදේශයේ ජීවත් විය.ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්තය වූයේ මලු සහ බ්ලැන්කට් විවීම යි.රිදී කර්මාන්තයට ද ඔවුන් දක්ෂතා පෙන්වූහ.අන් ප්‍රදේශවල ජීවත් වූ ඉන්දියානුවන්ට වඩා නිරිතදිග ඉන්දියානුවන් දක්ෂකම් දැක්වීය.මායා,ඇස්ටෙක් ශිෂ්ටාචාරය බිහි කිරීමට දායක වූ ආදී මුතුන් මිත්තන් වන්නේ මෙම ඉන්දියානුවන් ය.
     උතුරු ඇමෙරිකාවේ,රට මධ්‍යයේ ජීවත් වූ ඉන්දියානුවන් තැනිතලාවේ ඉන්දියානුවන්(Plain Indians)නමින් හැඳින්විය.රොකී කඳුවැටියෙන් නැගෙනහිර බෑවුම් වල සිට වර්තමාන කැනේඩියානු දේශසීමාව දක්වා කොලරාඩෝ,ටෙක්සාස්,මිසුරි,ඌටා,කැන්සාස් වැනි ප්‍රදේශවල මොවුන් ජීවත් විය.මැන්ඩන්ස්,පවුනීස්,ක්‍රොස්,ෂිනීස් යන ගෝත්‍ර මීට අයත් වෙයි.දකුණු කැනඩා මායිමේ සහ මධ්‍යම ටෙක්සාස් ප්‍රදේශවල ජීවත් වූ ඉන්දියානුවන් බයිසන් ගවයින් දඩයම් කිරීමෙන් තම ජීවන රටාව ඊට අනුකූලව සකස් කරගෙන තිබේ.එම ගවයාගෙන් ආහාරද,ලොම් වලින් ඇඳුම් ද,හමෙන් 'ටිපීස්' නම් වූ ගෙවල් ද සාදාගෙන තිබේ.

      ක්‍රි.ව.1400-1500 අතර කාලයේදී මොවුන්ට වෙඩි බෙහෙත්,තුවක්කු ආදියද,අශ්වයින් හීලෑ කිරීමේ ශාස්ත්‍රයද ස්පාඤ්ඤවරුන්ගෙන් ඉගෙන ගෙන ඇත.
යුරෝපීයයෝ උතුරු ඇමෙරිකාවට ගොඩ බසින විට මෙම ඇමෙරිකානු ඉන්දියානුවන් ගෝත්‍රික ලක්ෂණ වලින් බැහැර වී දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනඟා ගනිමින් සිටියහ.එම නිසා මෙම ගෝත්‍රිකයන් හා සටන් කිරීම යුරෝපීයන්‍ට පහසු නොවීය.ඇමෙරිකා එක්සත් ජනපදය බිහිකර ගැනීමට ඉංග්‍රීසීන්ට වර්ෂ ගනනාවක් ඉන්දියානුවන් හා සටන් කිරීමට සිදුවූයේ එම හේතුව නිසා වේ.විවිධ උපක්‍රම භාවිතා කරමින් ගෝත්‍රිකයන් ඔවුන්ගේ නිජභූමි වලින් පලවා හරින්නට ඉංග්‍රීසීන් කටයුතු කළ අතර අද වන විට රතු ඉන්දියානුවන් නාමමාත්‍රික ඓතිහාසික මානව ගෝත්‍රයක් බවට පත් වී ඇත.

*සංස්කරණය : තාරක ඩී. බෝගහවත්තගේ

*මූලාශ්‍රය : විජය පුවත්පත(2011.09.12)

Comments

Post a Comment

Popular posts from this blog

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

විසිතුරු මසුන්