නකල්ස් කඳුවැටිය-සුන්දර ශ්‍රී ලංකා 01


                 
                           හනුවර හා මාතලේ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටා ඇති නකල්ස් කඳු පන්තිය දකුණින් හා නැගෙනහිරින් මහවැලි ගඟ නිසා මධ්‍යම කඳුකරයෙන් වෙන් වෙන අතර බටහිරින් මහවැලි නිම්නයෙන් ද සීමා වන හෙක්ටයාර 21,000 කින් යුත් කඳු පන්ති සමූහයකි."මෙල වූ" අතක ඇඟිලි ඇට පෙළ මෙන් විහිදෙන යන අර්ථය නිසාම මීට "නකල්ස්" යන්න ව්‍යවහාර කෙරේ.ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව ප්‍රජාවකින් සමන්විතය.ලෝක උරුම පරිසර පද්ධතියකි.


   - පිහිටීම

                                             මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රධාන කඳු පන්ති අතර උඩදුම්බර,මැදදුම්බර,මිනිපේ සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නකල්ස් කඳුවැටිය දිස්ත්‍රික්කයේ සුවිශේෂීත පාරිසරික කලාපයක් වේ.වර්ග සැතපුම් 62 ක් තරම් විශාල ප්‍රදේශයක පැතිරුණු අඩි 3000-6500ත් අතර උසකින් යුක්ත ය.දිස්ත්‍රික් මායිම දිවෙන්නේ කඳුකරයේ උස් කඳු මුදුන් මතිනි.සමස්ත භූමි ප්‍රමාණයෙන් 1/3 ක් පමණ,එනම් හෙක්ටයාර 6200ක්(අක්කර 15,500) පමණ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන අතර ඉතිරි හෙක්ටයාර 12,500(අක්කර 31,300) ක් මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේ.නකල්ස් කඳු පන්තිය එහි පරිසර පද්ධතිය නිසා පමණක් නොව ඊටම ආවේණික සුවිශේෂී හේතු රැසක් නිසා වැදගත් වෙයි.එහි ඓතිහාසික වැදගත්කම ප්‍රාග් ඓතිහාසික යුග කරා දිව යයි.පුරාණ කාලයේ "ගිරි දිවයින" සහ "මලය රට" නමින් මෙම ප්‍රදේශය හඳුන්වා දී ඇත."බටදඬු කඳුවැටිය" ලෙස ද හැඳින්වේ.
                                               ශ්‍රී ලංකාවේ ගිනිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටියේ ගොම්බානිය,නකල්ස්,කෙහෙල්පොත්දොරුව ගල,කළුපහන,දෝතළුගල,වමාරපුගල,තෙළඹුගල හා ලකේගල යන උස් කඳු පිහිටා ඇත.හෙක්ටයාර 28,000ක පමණ වපසරියක් වසා විහිදී ඇති දුම්බර කඳුවැටියේ පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙස ද නම්කර තිබේ.

    - ශාක විවිධත්වය 

                                                            ලෝක සංරක්ෂණ සංගමය විසින් සිදුකර ඇති අධ්‍යයනවලට අනුව  වර්ග 141කට අයත් සපුෂ්ක ශාක විශේෂ 1033 ක් පමණ හඳුනාගෙන තිබේ.ඒ අතරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ.මේ අතර වෘක්ෂමය ශාක විශේෂ 225 ක් පවතී.පඳුරු හා පැළෑටිද රැසකි.ඉහළ කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර) ප්‍රදේශයේ කීන,නෙළු වැනි ශාක ප්‍රමුඛ වන අතර,උප කඳුකර වනාන්තර ආශ්‍රිතව මල් වෙරළු,මලබොඩ,මැටිදවුල,ඇටවීර වැනි ශාක බෙහෙවින් හමුවේ.වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලදී මොර,බදුල්ල,මිල්ල වැනි ශාක විශේෂ ද ගංගාශ්‍රිතව තිඹිරි,කොටදිඹුල,අට්ටික්කා,ඇටඹ වැනි ශාක ද බහුල ය.          තෙත්පතන් තෘණ බිම්වලදී ඇත්අඩි,බිනර,වැල්පත්පාඩගම්,පිටවක්කා,නිල්මොණරැස්ස,වැටස්ස(කඳුලැස්ස) වැනි ශාකද වියළි පතන් බිම්වලදී රුක් අත්තන,හීන් අටෝර,මානා,ඉලුක් වැනි ශාකද දක්නට ඇත.සමස්ත ශාක විශේෂ අතුරින් ආවේණික ප්‍රතිශතය 17.3% කි.

   - සත්ත්ව විවිධත්වය 
               

                                                              

                                             ලංකාවට ආවේණික පෘෂ්ඨවංශික සත්ව විශේෂ 285 අතරින් විශේෂ 13ක් දුම්බර කඳුකරයෙන් පමණක් වාර්තා වේ.ලංකාවට ආවේණික පෘෂ්ඨවංශික 285 අතරින් විශේෂ 88 ක්ම දුම්බර දුම්බරින් වාර්තා වේ.එනම් 30.9% ක ප්‍රතිශතයකි.දුම්බර පඳුරු මැඩියා,හොන්මාන්ගේ පඳුරු මැඩියා,විශාල පා ඇති පඳුරු මැඩියා,මූරිගේ පඳුරු මැඩියා,ස්ටෙයිනර්ග් පඳුරු මැඩියා,ස්ටුවර්ට්ගේ පඳුරු මැඩියා සහ දුම්බර ගල්පර මැඩියා යන උභයජීවී විශේෂත්,දුම්බර ගල්පාඬියා,මල්පෙතියාහෙවත් දන්කුඩු පෙතියා සහ දුම්බර පෙතියා යන මත්ස්‍ය විශේෂත්,දුම්බර අඟ කටුස්සා හෙවත් පත්‍ර අඟ කටුස්සා,දුම්බර කුරු කටුස්සා හෙවත් දුම්බර කුරු බෝදිලිමා සහ දුම්බර මහ කැළෑ හූනා යන සිව්පා උරගයින් ද දුම්බර කඳුකරයෙන් පමණක් වාර්තා වන සත්ව විශේෂ වේ.

    - දේශගුණික හා පාරිසරික විවිධත්වය

                                                          ශ්‍රී ලංකාවේ පවතින විවිධ දේශගුණික තත්ත්ව රැසක් නකල්ස් පරිසර පද්ධතිය තුළදී අත් විදින්න ට හැකිය.ආර්‍ය ජනතාවක් මේ ආශ්‍රිතව ජීවත් වූ බවට පුරා විද්‍යාත්මක සාධක හා සාක්ෂි ඇත.පරිසර පද්ධතිය තුළ ජල උල්පත්,වැසි වනාන්තර සහ දුම්බර කඳු පන්තියටම ආවේණික වූ ශාක හා සත්ත්ව විවිධත්වය ආදියද දක්නට ලැබේ.මහවැලි ව්‍යාපාරයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය ද නකල්ස් කඳු පන්තියයි.ඉහළ බෑවුම් ප්‍රදේශ සහ කඳු මුදුන් වසා පැතිරී ඇති කඳුකර, නිවර්තන තෙත් සදාහරිත වනාන්තර විවිධ වර්ගයේ ඕකීඩ් වර්ග,මිවන,පාසි සහ දුර්ලභ ශාක විශේෂයන්ගේ පැවැත්මට රැකවරණය සලසා දී ඇත.

 *සංස්කරණය : තාරක ඩී. බෝගහවත්තගේ 

  *තොරතුරු මූලාශ්‍රය : විජය පුවත්පත(2014.11.04)


Comments

Popular posts from this blog

ලොව වෙසෙන මුවන් - සත්ත්ව ලෝකයේ විවිධත්වය 01

විසිතුරු මසුන්